ට්‍රම්ප්ගෙන් ලොව පුරා නව බදු වැලක්.. චීනයට 40%ක්.. ඉන්දියාවට 17%ක්.. ලංකාව බේරෙයි..
කතෘ: lbnslnews ·

චීනය, යුරෝපා සංගමය සහ තවත් ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් 12 දෙනෙකු ඉලක්ක කර ගනිමින් 20% දක්වා වූ නව තීරුබදු පැනවීමට අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් යෝජනා කර ඇත.
විදේශීය රජයන් විසින් ලබා දෙන සහනාධාර හරහා නිර්මාණය වන අතිරික්ත නිෂ්පාදන ධාරිතාව පිළිබඳව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය විසින් මාස 8ක කාලයක් පුරා සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම නව බදු යෝජනා ඉදිරිපත් කර තිබේ.
1974 වෙළෙඳ පනතේ 301 වන වගන්තිය යටතේ සිදු කළ මෙම විමර්ශනය මගින් පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද පෙර පැවති සමස්ත තීරුබදු වෙනුවට නව නීතිමය පදනමක් යටතේ බදු ප්‍රතිව්‍යුහගත කිරීම අරමුණු කර ඇත.
ධවල මන්දිර නිලධාරීන් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි රටවල් සහ කලාප අනුව යෝජිත තීරුබදු අනුපාත මෙසේය.
චීනය: 20% ක නව තීරුබද්දක් යෝජනා කර ඇති අතර, දැනට පවතින ඇතැම් බදු සමඟ එක්වූ විට සමහර භාණ්ඩ සඳහා මුළු බදු අනුපාතය 40% ඉක්මවනු ඇතැයි සඳහන් වේ. දෙරට අතර පවතින වෙළෙඳ සාකච්ඡා බිඳවැටුණහොත් මෙම බද්ද 40% දක්වා ඉහළ නැංවීමට විමර්ශනයෙන් නිර්දේශ වී ඇති බව ද වාර්තා වේ.
වියට්නාමය: 20% (විමර්ශනය මගින් 35% ක බද්දක් යෝග්‍ය බව නිගමනය කර තිබුණද දැනට 20%ක් යෝජනා කර ඇත).
කාම්බෝජය, ඉන්දුනීසියාව සහ මැලේසියාව: 18% බැගින්.
ඉන්දියාව: 17% (දැනට පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් එකඟතාවකට පැමිණියහොත් පමණි).
යුරෝපා සංගමය, ජපානය සහ දකුණු කොරියාව: 15% බැගින් (මෑත කාලීනව ඇති කරගත් වෙළෙඳ ගිවිසුම්වලට අනුකූලව මෙම අනුපාතය පවත්වා ගෙන යන අතර, පෙර ගිවිසුම් කඩ වුවහොත් යුරෝපා සංගමය සඳහා එය 20% දක්වා ඉහළ යා හැකි බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි).
විමර්ශනයට ලක්වූ සෙසු රටවල්: බංග්ලාදේශය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, තායිවානය සහ තායිලන්තය යන රටවල් ද මෙම රටවල් 14 අතරට ඇතුළත් වන අතර, නෝර්වේ සහ මෙක්සිකෝව සම්බන්ධ විමර්ශන තවදුරටත් සමාලෝචනය වෙමින් පවතී.
මෙම නව තීරුබදු ක්‍රියාත්මක කිරීමට පෙර මහජන අදහස් විමසීමේ කාලසීමාවක් සහ අතිරේක විභාගයන් පැවැත්විය යුතු බැවින්, ඒවා බලාත්මක වීම ලබන වසරේ ජනවාරි මාසයේදී පමණ සිදුවිය හැකි බව අමෙරිකානු නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, අර්ධ සන්නායක, මෝටර් රථ, වානේ, ඇලුමිනියම්, ඖෂධ සහ ඇතැම් බලශක්ති හා ආහාර නිෂ්පාදන මෙම නව බදු යෝජනාවලින් නිදහස් කර ඇති බව වාර්තා වේ.
මේ අතර, බ්‍රසීලයෙන් ආනයනය කෙරෙන නිමි ගුවන් යානා සඳහා 10% ක නව තීරුබද්දක් සහ සීනි ආනයනය සඳහා නව බදු අනුපාත පැනවීමට ද අමෙරිකාව යෝජනා කර ඇත.

